සදාකාලික රිදුම් විඳවන පියකුගේ නොපෙනෙන ආදරය. - ගී මල් විල Episode 03
මුළු මහත් සමාජ සංස්ථාව තුළම පියකු වෙනුවෙන් වෙන්වූ ඉඩකඩ සීමිත යැයි යම් අයකුට දැනෙන්නේ අදටත් සමාජ සංස්ථාවම බැඳී පවතින්නේ මාතෘ මූලිකවීම හේතුවෙනි. එසේ වුවද පියකුට සමාජය තුළ ඇති ඉඩකඩ කිසිදිනක සීමා නොවේ.බෙහෝවිට එසේ වී යැයි දැනී යන්නේ ඔහුගේ කාර්යය ඉටුවන්නේ මවකට වඩා නොදැනෙන අයුරින් හා ඉතා සූක්ෂම ලෙස බැවිණි. එබැවින් පියකුගේ ආදරය මෙන්ම සෙනෙහසද, රැකවරණයද ලොවට පෙනෙන ප්‍රමාණයට වඩා නොපෙනෙන ප්‍රමාණය වැඩිය.

ඒ කෙසේ වෙතත් මුළු මහත් සමජය තුළම පියකුගේ කාර්යභාරය සුළුපටු නොවේ.
ගී පද – ගයාන් පීරිස්
සංගීතය සහ ගායනය – සචිත් මහානාම
පවුල් සංස්ථාව තුළ අප්‍රමාණ වූ දුක දරාගෙන සියලු බර ඔසවායන පියවරුන් හා දරුවන් අතර සහසම්බන්ධය අතීතයේ සිට වර්තමානය දක්වාම ඉතා ගැඹුරින් දක්නට නොලැබෙන කාරණාවකි. විශේෂයෙන් පිය – පුතු අතර සහසම්බන්ධය හා ගැටුම ආසියාතිත මෙන්ම බටහිර සමාජයටද පොදු කාරණාවකි. ඒ නමුත් ඒ පාර්ශ්ව දෙකෙහිම ඇති ආදරය සහ සෙනෙහද බිඳකුදු අඩුනොවන බවද නොකියාම බැරිය.
පුතු සෙනේ පිතු හද තුළක මිස
නැත පුතුන් හද තුළ රඳන්නේ
ඇට තුළට වැද ඇට මිදුළු මත
සදකල් නැත දුක් දෙවන්නේ....
මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාටකයේ අප දුටු පිය පුතු අරගලය සේම පිය පුතු බැඳීම ද එකට කැටි කොට ගනිමින් එදා සිට අද දක්වාම ගීත ක්ෂේත්රයට පිය ගුණ ගී රැසක් නිර්මාණය වීම සතුට දනවන කාරණාවකි.නමුත් මවුගුණ ගීතවලට සාපේක්ෂව අද දවසේද පියගුණ ගීත බිහිව ඇත්තේ ඉතා සීමිත ප්‍රමාණයක් බැව් යන කාරණාවද නොකියාම බැරිය.
දරාගනු බැරි සුළඟ උහුලා
මලානික වුව දෑස නොනිදා
මහ පොළොව වෙත
මුදුන් මුල දිවෙනා
නුඹ නොවෙද ගිජිඳා.....
වඩාගෙන මල් පොකුරු සනහා
ලතාවක අතු ඉතිද සනහා
හිනාවෙන හැටි
දෑස්වල දකිනා
නුඹ නොවෙද රජිඳා....
සදාකලික රිදුම් විඳලා
බදාගෙන මහ පොළොව ඉඳලා
දරා උන් හැටි
කුණාටුව පරදා
නුඹ නොවෙද මිහිඳා...
පියකුගේ ජීවිතයේ මතුපිට මෙන්ම ඇතුළතද ස්පර්ශ කරමින් ඒ ගුණ සුවඳ වචනවලට පෙරළීම ලේසි පහසු කාරණාවක් නොවේ. මවකගේ මෙන් නිරන්තරයෙන් දකිනා ස්වභාවයන් පියකු තුළින් දක්නට නොලැබිම තුළ සැබෑ පියකුගේ ස්වරූපය, ජීවිතය ගී පදවලට හසුකර ගැනිමට ගීත රචකයකු තුළ වඩාත්ම තිබිය යුත්තේද මානව දයාව සහ සංයමයයි.
මේ ගීතයේ රචකයා වන්නේ අලුත් පරපුරක මතු බලාපොරොත්තු තබාගත හැකි ගීත කිහිපයක්ම ගීත ක්ෂේත්රයට දායාද කළ ගයාන් පීරිස් ය. පියෙකු සතු විඳදරාගැනීම් මෙන්ම ලෝතයක් හමුවේ නිතර නොපෙන්වන මුදු බව, සෘජු බව, ඉවසීම් සියල්ල වචනවලින් පෙළහර පාන්නට ගීත රචකයා සමත් වනුයේ ගීතයක ආකෘතිය පවා මනාලෙස හඳුනාගනිමිනි. එය දක්ෂ ගී පද රචකයකුගේ වගකීමක් ලෙස මෙම ගී පද රචකයා හඳුනාගෙන තිබීම පැසසිය යුතුම කාරණාවකි.
මතුපිටින් දකින වචන පෙළකට එහා යමින් ශ්රෘවකයාට හිතන්න ට යමක් ඉතිරි කළ හැකිනම් ඒ ගීතය තුළින් සමාජයට දියහැකි දෑ බොහෝය. අතීතයේ බොහෝ නිර්මාණවල දක්නට ලැබෙන උපමා, උපමේය භාවිතාව මේ වැනි අලුත් ගීත නිර්මාණයක දක්නට ලැබීම තුළ ගීත රචනා ක්ෂෙත්රය තුළ නැවුම් අස්වනු වඩා සරුසාර වනු ඇතැයි සතුට උපදවාගත හැකි කාරණාවකි. ‘ වඩාගෙන මල් පොකුරු සනහා,ලතාවක අතු ඉතිද සනහා ’ වැනි භාවිතා තුළින් රචකයාගේ නිර්මාණශීලීත්වය වඩාත් ඔප් නැංවීමට සමත් වේ. ගීතයේ අවසාන පදය ඔබ නොවෙද රජිදා වුණේනම් වඩාත් අගනේයැයි මගේ පෞද්ගලික අදහසයි.
මේ නැවුම් ගීතය සංගීතවත් කොට ගයන්නේ නව පරපුරේ ගායන ශිල්පියකු වන සචිත් මහානාම ය. බොහෝ විට නවක ගායන ශිල්පීන් තම නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන්කරන්නේ ප්‍රේමය , විරහව යන කාරණාවලට වන අතර සමාජීය කාරණා. මව් පිය ගුණ ගී, බැති ගී ගායනය සඳහා යොදාගන්නේ ඉතා අල්ප වශයෙනි.සචිත්ගේ හඬද සංගීතයද පුතෙකුගේ හදවතින් නැගෙන පියකු වෙනුවෙන් ඉපැදුණු ආදරයේ අරුමය සනිටුහන් කරලීමට සමත් වේ.
සුජිත් ප්‍රසංග
What's Your Reaction?






