මව්  පදවිය දුන් දියණියනේ.....මතු බුදු  වේවා.....

ශ්‍රී ලාංකේය ගීත ක්ෂේත්‍රය තුළ විවිධාකාරයේ විශිෂ්ට ගීත අතරේ මව් ගුණ ගීතයට අද දවසේද හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. එදාමෙදා තුර බිහිවූ එවන් මව්ගුණ ගීත මිනිස් හද සන්තානයේ ගැඹුරුම තැන ලැගුම්ගෙන ඇත්තේ අම්මා යනු ජීවිතයේ හමුවන සොඳුරුතම ගැහැනිය බැවිණි. 

Aug 20, 2025 - 12:28
Aug 20, 2025 - 12:34
 0  101
මව්  පදවිය දුන් දියණියනේ.....මතු බුදු  වේවා.....

ගී පද රචනය – නයනා ප්‍රියන්ති ජයසුන්දර
සංගීතය -  අමිත් ලියනගේ
ගායනය – සුරංජි ශ්‍යාමලී 

ගීතය සමාජගතවීමට පෙරාතුව අප ජන සමාජය තුළ කවිය මුදුන්  මල්කඩක් සේ සැලකුවේ මිනිසුන්ගේ ජීවන රටාවේ සියලු දුක්ඛ දෝමනස්සයන් හා කවිය ද බැඳී පැවැතුණු නිසාය. එකල මිනිසුන්ගේ අදහස් උදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබලතම මාධ්‍යය බවට පත්වූයේ ද කවියය.

මේ කවි කතා අතර මවකගේ ගුණ සමුදයන් වඩාත් හදවතට කතා කරන වෙස්සන්තර ජාතක කාව්‍යය අපේ ජන ජීවිතය හා බැඳී පවතින්නේ  අනාදිමත් කාලයක සිටය. තම කුටුම්භය වෙනුවෙන් මවක වෙතින් ඉටු කෙරෙන්නා වූ මෙහෙවර සුළුපටු නොවන්නේ ඇය සංසාරයේ පතා  එන්නේ ස්වාමියාට දරුවන්ට ඒ මෙහෙවර කරන්නට එක සිතින් බැදී ආ ලෙසිනි.

ආ දා  සිට හිමයේ අප සමඟිව ඉඳ      නිතිනේ
රෑ දාවල් වත් පිළිවෙත් කළදැයි සම      සිතිනේ
ආදාරෙක් ඔබ මිස නැත අම්මා හට     නිතිනේ
බාධා නෙව ඔබ බුදුවන් අප  දන්දුන්   පිනිනේ..

එසේ කවියෙන් ඔප් නැංවුණු මවගේ ගුණ සමුදාය පසුකාලීනව ගීතය   තුළින් මතුකිරීමට බොහෝ නිර්මාණකරුවන් පෙළඹුණේ කවියට වඩා   ගීතය පොදුජන හදවත් ආමාන්ත්‍රණය කිරීමට සමත් වූ ප්‍රභලම කලා මාධ්‍යය වූ බැවිණි. ඒ අනුව එදාමෙදාතුර අපේ ගීත ක්ෂේත්‍රය තුළ බිහිවූ  මව් ගුණ ගීත එකකට එකක් නොදෙවෙනි ආකාරයෙන් බිහිවීම තුළ මවක යනු පිදුම් ලැබිය යුතු උතුම් ම කත ලෙස ගෞරවදරයට පත් වූයේ   නිතැතිණි.


ළපටි හැඬුමට කිරි එරෙන කල
රැයක් තාලෙට සවන් නැළවුණ
කැකුළු කොඳ මල් සුවඳ විඳිනට 
සඳක් එබිකම් කළා කුටියට...

රුවට මිණි මුතු පබලු නැතිවට
සිප් සතර එළි කළා නුඹ කුස 
සඳුන් හරයක සුවඳ විහිදන 
නුඹයි සඳවත ලොව එකලු කළ....

මගේ ගෙපැළට එළිය දුන් නුඹ
ඔටුන්නකි මා සිරස සරසන
දුවේ භවයක බුදුවෙයන් නුඹ
මවක් වෙන්නට වරම් දුන්නට....

සතියකට වතාවක් අලුත් ගීත දහයක් දොළහක් සමාජ මාධ්‍ය ඔස්සේ ජනගතවන කාලයක ඒ බොහෝ ගීතවලට තේමාව කරගෙන ඇත්තේ හුදු ප්‍රේමය හෝ විරහව පමණක් බව අකමැත්තන් වුවද පවසන්නට  සිදුවන්නේ ප්‍රේමය, විරහව තෝරාගත්තත් ඒ තුළ නැවුම් අදහසක් ගැබ්වී නොමැති බැවිණි. එවන් ගීත අතරේ ඉහත සඳහන් ගීතය ඇසූ සැනින් සිත්  තුළ ලැගුම් ගැනීමට හේතුවන්නේ මව්ගුණ ගීතයකට එහාගිය වෙනස් වූ කාරණාවක් සමාජගත කිරීමට දැරූ උත්සාහය නිසාය.

සාමාන්‍යයෙන් අපේ ජන සමාජයේ ප්‍රභලවම පවතින කාරණාවක් වූයේ  ‘අම්මා බුදුවේවා’ යන්නයි. එය අපේ ජීවිතවලට මොනතරම් බද්ධ වී   ඇතිද යන්න පැහැදිලි වන්නේ ඇතැම් පිරිමින් මෙම වාක්‍යය තම සිරුරේ  පවා සටහන් කරගෙන ඇති නිසය. ඒ නමුත් මේ ගීතය තුළ ඉන් එහා ගිය කාරණාවක් ජනිත කරවීමට සමත්කම් දක්වන්නේ බුදුවේවා යැයි මව   පතන්නේ තමන්ට මවු පදවිය දුන් දියණියට වීමය. එය නැවුම් අත්දැකීමක්  මෙන්ම සුවිශේෂී අවස්ථාවක් වන්නේ සාමාන්‍යයෙන් ආසියාතින සමාජය  තුළ ගැහැනු දරුවකුගේ ඉපදීම එතරම් කාරණාවක් නොවන බැවිණි.

ආසියාතික පොදු සමාජය තුළ වඩත් උත්කර්ෂය වන්නේ පිරිමි දරුවකුගේ  ඉපදීමයි. ඒ සංකල්පය නිර්මාණකරුවන් තම නිර්මාණවලට පවා ඈඳාගත්තේ සමාජයේ සුබ ලකුණ පිරිමියා බැව් ඒත්තු ගන්වමිණි. විවාපත්   ගැහැනිය පවා නිරන්තරයෙන් පතන්නේ පිරිමි දරුවකු බැව් අපේ ජන සමාජයේ ද ඕනෑ තරම් උදාහරණ දැකිය හැකි වේ.

අපේ ගමෙන් බත්  බැඳගෙන තිසා වැවට     යන්නයි 
තිසා වැවේ රත් නෙළුමක බත් දාගෙන        කන්නයි 
එතැන ඉඳන් පේවි පේවි උඩ මළුවට          යන්නයි
සිරිමා බෝ ස්විමිනි මට පිරිමි පුතෙක්        දෙන්නයි

නුවර කලාවියේ ප්‍රචලිත ඉහත ජන කවියේ ආභාෂයෙන් ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් ලියා ප්‍රවිණ සංගීතවේදී ගුණදාස කපුගේ සංගීතවක් කොට ප්‍රවිණ ගායන ශිල්පිනී නිරංජලා සරෝජිනී ගයන ‘සිරීපාදෙ වන්දවන්න    හිස ඔලියල් බැඳලා...’ගීතයටද පාදක වන්නේ ගැහැනියකට  සංසාරයෙන් එතෙර වීමටනම් පිරිමි පුතකු සිටිය යුතු බවයි.

ඉහත සඳහන් ‘ළපටි හැඬුමට’ ගීතය ලියා ඇත්තේ නවක ගීපද රචිකාවකි. ඇය නයනා ප්‍රියන්ති ජයසුන්දර ය. නවක ගී පද රචිකාවක ලෙස ඇය තැබූ පළමු පියවර සාර්ථකය. ඒ හුදු ප්‍රේමාලාප අතරින් ද, ඕනෑවටටත්  වඩා ඇති මව් ගුණ වරුණා ගීත අතරින්ද මිදී නවමු සංකල්පයක්  රසිකාගාරයට දීමට දැරූ උත්සාහය නිසාය. ප්‍රේමය, විරහව වුවත් අලුත්  ඇසකින් දකින්නට සමත් වන්නේ නම් රචිකාවට ගීපද රචනා ක්ෂේත්‍රය තුළ හොඳ ගමනක් යාමට හැකිවනු ඇත. ඒ ලෙසම ගීතයේ සාම්ප්‍රදායික ආකෘතියෙන් මිදී තමන්ම සොයාගන්නා නව ගී ආකෘතින් තුළ සැරිසැරීමට ඇය කටයුතු කළ යුතුව ඇත.

පද රචනයේ අරුත මනාව වටහාගෙන එය ශ්‍රාවකයාගේ හදවතට දැනෙන අයුරින් රැගෙන යාමට සමත්කම් දක්වන්නේ සංගීත නිර්මාණකරුවාය. ජන නාදමාලා ඔස්සේ මවක හා දුවක අතර ඇතිවන ලෙන්ගතු බැඳීම සනාථ කරමින් මනා සංයමයෙන් යුතුව එය නිරිමාණය කර ඇත්තේ  ප්‍රවීණ සංගීතවේදී අමිත්  ලියනගේය. සංගීත නිර්මාණකරුවකුගේ කාර්ය භාරය මනාලෙස හඳුනාගනිමින් නිර්මාණය වූ සංගීතය තුළින් ගීතයේ  අර්ථය වඩාත් තීවෘ කිරීමය සමත් වේ.

ළපටි හැඬුමට ගීතයේ අපූරු වූ හඬ ප්‍රවිණ ගායන ශිල්පිණි විශාරද   සුරංජි ශ්‍යාමලී ය. ගායනයේදී ප්‍රබලවිය යුත්තේ කටහඬ වුවද එය අභිබවා යමින් හැඟුම් ගායනය ලේසි පහසු කාරණාවක් නොවේ. ඒ සඳහා ගායන ශිල්පියාට හෝ ශිල්පිනියට තිබිය යුත්තේ පද මාලාව පිළිබඳව තමා  විසින්ම අවබෝධ කරගන්නා උසස් ගුණයයි. මේ ගීතය ගායනයේදී  මවකගේ දයාබර බව, මුදු බව, තමන්ට මව් පදවිය දුන් දියණියකට ඇති  ගෞරවාදරය ඇගේ හඬන් නිරූපිත විම සුවිශේෂීය.

ළපටි හැඬුමට ගීතය මවකගේ මතකයේ රැඳෙන, දියණියකට ගෞරවාදරය  ගෙනෙන නිර්මාණයක් වීම සුළු පටු කාරණාවක් නොවන බවද පැවසිය  යුතුය.

සුජිත්  ප්‍රසංග

What's Your Reaction?

Like Like 8
Dislike Dislike 0
Love Love 3
Funny Funny 0
Angry Angry 0
Sad Sad 0
Wow Wow 4
Sujith prasanga Journalist | Writer | Song Writer | Script Writer