ඉතින් මා සනසන්‍න මහද සිරකළ මන්දෝදරී - ගී මල් විල Episode 01

ඉතින් මා සනසන්‍න
මහද සිරකළ මන්දෝදරී.....
පද රචනය – ආචාර්ය ඉරෝමි ආරියරත්න
සංගීතය – තුසිත් සිම්සන්
ගායනය – දුමින්ද මාලක ජයසිංහ
අපේ ජන සමාජය තුළ රාවණා පිළිබඳව නොයෙක්විද ලේඛණ, කලා නිර්මාණ ආදිය මෙන්ම රාවණා ඉතිහාසය ආශ්‍රිත නව සොයාගැනීම් පිළිබඳව ද විවිධ කතාන්දර මෑත කාලය තුළ ඕනෑවටත් වඩා අසන්නට දකින්නට ලැබුණි. මේ හේතුවෙන් ඒ පිළිබඳව විවිධ අදෘශ්‍යමාන මිත්‍යා මත ද සමාජය තුළ ව්‍යාප්ත වූ අතර ඇතැම් පිරිස් තමන් පැවැත එන්නේ රාවණා පරපුරෙන් යැයි සමාජයට ඒත්තු ගැන්වීමට උත්සාහ ගත් අවස්ථා ද නැත්තේ ද නොවේ.
රාවණා යුගයේ පිළිබඳව බොහෝ දෙනකු කතාබහ කරද්දී ඒ තරම් අවධානයට ලක් නොවූ ස්ත්‍රී චරිතය වන්නේ ‘මන්දෝදරී’ ය . ඇය රාවණාගේ ප්‍රේමයේ හිමිකාරිය වන අතර අග මෙහෙසිය ද වන්නීය. “මෘදු වූ උදරයක් සහිත වූ කුමරිය” යන්න මන්දෝදරී නම් සංස්කෘත වචනයේ අර්ථය වන අතර කල්‍යාණි සහ ධ්‍යානමාලිනී යන නාමයන්ගෙන් ද ඇය හඳුන්වා දී ඇතිබව ඉතිහාසය පිරික්සිමේදී පැහැදිලිය.
මන්දෝදරිය පිළිබඳව අපේ ජන සමාජය කුළ කතාබහ සිදුවූයේ මෑත කාලයේ වුවද අතීත ගැමි සමාජය තුළ, විශේෂයෙන් සීගිරිය ආශ්‍රීත ජනපදවාසීන්ට ඇය අලුත් චරිතයක් නෙවේ. මුළු මහත් ලෝකයේම ගෞරවාදරයට පාත්‍ර වූ සීගිරි සිතුවම්වල නිරූපණය වන ස්ත්‍රී රූ අතර මන්දෝදරියද වෙසෙන බව ඒ සමාජය තුළින් අසන්නට ලැබෙන පහත සඳහන් තේරවිලි කවිය තුළින්ද සනාථකරගත හැක.
ප්‍රශ්න කවිය
සීගිරි ගලේ විල සැදුවේ කවුරුන්දෝ
සීගිරි ගලේ රූ ඇන්දේ කවුරුන්දෝ
සීගිරි රුවෙන් දිස් වන්නේ කවුරුන්දෝ
මෙතුන් පදේ විසඳන්නේ කවුරුන්දෝ
පිළිතුරු කවිය
සීගිරි ගලේ රාවණ දෙවි විල සැදුවා
සීගිරි ගලේ විස්කම් සිත්තම් කෙරුවා
සීගිරි රුවෙන් මන්දෝදරී දිස්වෙනවා
මෙතුන් පදේ නිසි ලෙස මම විසඳනවා
ශ්‍රී ලාංකේය ගීත සාහිත්‍යය තුළට ජනප්‍රවාද, ජනාශූතිය, ඉතිහාස කතා ආදියෙන් නිර්මාණ බිහිවන්නේ අද ඊයේක සිට නොවේ. විශේෂයෙන් අපේ රටේ ඉතිහාස කතා මෙන්ම පෙර අපර දෙදිග ඉතිහාසය තුළ සුවිශේෂී චරිත වටා සැරිසරමින් එක් වූ ගීත බොහෝමයක් ඇති අතර එවන් නිර්මාණ ශ්‍රාවකයා අතර ද ජනප්‍රියත්වයට පත්වූ අවස්ථා ඇත.
රාමා, සීතා, රාධා, ක්‍රීෂ්ණා, කන්නගී. කෝවලන්, වැනි ප්‍රේමනිය මෙන්ම ඉතිහාසය තුළ මහත් කතාබහට ලක්වූ චරිත අතර රාවණා - මන්දෝදරී ගීත සාහිත්‍යයට එක්වන්නේ මෑත කාලසිමාව තුළය.
නාරි බැඳුමෙන් ප්‍රේම තෙපුලෙන්
මහද සිරකළ මන්දෝදරී
මන්දහාසේ... ඔය මන්දහාසේ...
මට ම මැවුණාදෝ...
කියන් සොඳුරී... කනට කොඳුරා
මහී කතරේ...මා... පෙළනා
රුදු දාහය නිවා
නීල නයනේ... නීල නයනේ
නිලන කැල්මෙන්
චන්ද්‍ර කාන්තිය නිවා
මා ළගින් වැතිරෙන්න...
මා ළගින් වැතිරෙන්න...
කියඹු රැල් සයනේ එළා
බාහු යුග්මේ... බාහු යුග්මේ
සුසුම් චන්දන උලා
මන්ද්‍ර තානෙන් වෙළා
ඉතින් මා සනසන්න...
ඉතින් මා සනසන්න...
චාරු දේහේ සළු පිළි උනා
මන්දෝදරියගේ ප්‍රේමයේ අපූර්වත්වය පිළිබඳව ලියැවුණු ඉහත ගීතයේ පද රචිකාව වන්නී ආචාර්ය ඉරෝමි ආරියරත්නයි. කාලයක් මුළුල්ලේ ගීත රචනා ක්ෂේත්‍රය තුළ නිර්මාණ රසවිඳිමින් ප්‍රේමය, විරහව මෙන්ම ඉතිහාසය, බෞද්ධ සාහිත්‍යය මනාව ස්පර්ශ කරමින් ගීත රචනා ක්ෂේත්‍රය තුළ රැඳී තටයුතු කරන ඇයගේ නවතම ගී පද රචනයට පාදක වන්නේ මන්දෝදරීය නම් සුන්දර කාන්තාවයි.
ඇයගේ රූප සෝභාව කෙතරම් ද යන්න ගීතයේ පද අතරින් මතුකරලීමට මෙන්ම එම ආදරයේ ගැඹුර මතුකරලිමට පද රචිකාව භාවිතා කරන්නේ පාලි - සංස්කෘතයේ එන වචනවල සුන්දරත්වයයි.එය සමස්ත ගීතය පුරා භාවිතා කිරීම තුළින් මන්දෝදරියගේ ආදරය, ගැඹුර මනාලෙස ඔප් නැංවීමටද සමත්වේ.
වර්තමානයේ බිහිවන බොහෝ ගීතවල අසන්නට ලැබෙන එකම ආකෘතිය මෙන්ම, ප්‍රේමය හුවාදැක්විමට භාවිතා කරන සරල වචනවලින් මිදී ශ්‍රාවකයාට නවමු මානයක් දැකිය හැකිසේ නිර්මාණයක් දායාද කළ හැකිනම් එය අගය කළ යුතු කාරණාවක් වන අතර ගී පද රචිකාව ප්‍රේමයේ ගැඹුර මතුකර රාවණා - මන්දෝදරී අපූර්වතම එක්වීම වචන තුළින් මතු කිරිමට සමත් වේ.
අතීත පුරාවෘත්ත තුළින් ගීත නිර්මාණය කිරිමේදී වඩාත් ප්‍රබල වය යුත්තේ සංගීතයයි. එසේම එවැනි නිර්මාණයකට සංගීය නිර්මාණය කිරීමේදී හැදෑරීම් මෙන්ම සොයාගැනම්ද අත්‍යාවශ්‍ය සාධකයකි. එම ක්‍රමවේද ඔස්සේ ශ්‍රාවකයා අල්ලා බැඳ තබාගැනීම ලේසිපහසු කාරණාවක් නොවේ. මන්දෝදරී ගිතයේ සංගීතය නිර්මාණය කරන්නේ ප්‍රවිණ සංගීතවේදී තුසිත් සම්සන් ය. තුසිත්ගේ සංගිත භාවිතාව තුළ වඩාත් දැනෙන ජන නාද මාලා , ඉන්දියානු සංගීතය, නව රිද්මයානුකූල හැදෑරීම් තුළින් ගීතය ඉල්ලා සිටින සෘංගාරාත්මක හැඟීම් මතු කිරීමට සමත්වේ.මන්ද ගීතය වඩාත් ම ශ්‍රාවක අවධානය දිනාගැනීමටට සමත් වන්නේ සංගීතයේ නවමු භාවිතාව තුළිනි.
ගීතයේ නවමු හඬ භාවිතාව දුමින්ද මාලක ජයසිංහයි. නව පරපුරේ ගායන ශිල්පීන් හඳුනාගත නොහැකි හඬවල් අතර දුමින්දගේ ගායනය සංගීත ක්ෂේත්‍රය තුළ දිගු ගමනක් යා හැකි යැයි බලාපොරොත්තු තබාගත හැකිවීම සුබ ලකුණකි. එ් ගමන සාර්ථකව ගමන් කිරීමටනම් හැදෑරීම්, නව ප්‍රවේශයන්, විවිධ භාවිතාවන් මනා ලෙස ගලපා ගැනීමට තරුණ ගායන ශිල්පියාට ඉවක් තිබිය යුතුය. මන්දොදරී ගීතය ඔහුගේ ගායන ක්ෂේත්‍රය තුළ ට ආශ්වාදජනක හැඟීමක් එක්කරලනු ඇත.
අතීතයේ සිටම ගීත ක්ෂේත්‍රයේ ඉතිහාස කතා ආශ්‍රිතව නිර්මාණය වූ ගිත රාශියක් තිබුණද ඒ බොහෝ ගීත සමස්ත සමාජයම වැළඳ නොගන්නේ එහි තේමාව බොහෝ දෙනකුගේ ජීවිතවලට සමීප නොවන හෙයිනි. මන්දෝදරියගේ ජීවන චරිතය ස්පර්ශ කරමින් ප්‍රේමය, ගෘහ ජීවිතය හා ගැහැනියක ලෙස මුහුණ දුන් අත්දැකීම් වර්තමාන කාන්තා සමාජය හා ගලපා ගත්තේනම් මෙය තවත් වටිනා නිර්මාණයක් වනු නියතය.
සුජිත් ප්‍රසංග
What's Your Reaction?






